පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
|
රජගහ නුවර වේළුවනාරමය අසල චුන්දසූකරික නම් ඌරන් මරන මිනිසකු විසුවේය. එනම් ඌරු වැද්දෙකි. ඔහු මස් පිණිස ඌරන් ඇති කරයි. ලොකු කුඩා ඌරු කොටු බොහෝ ගණනක් ඔහුගේ ගෙවත්තේ ඇත. ඔහු අඹු දරුවන් ජීවත් කරවන්නේ ඌරන් මරා විකිණීමෙනි. දිනපතාම එම මස් අනුභව කරයි. මෙම වැද්දා ඌරන් මැරීමට පෙර කණුවක බැද පොල්ලකින් තලයි. එසේ කරන්නේ මස් ඉදිමීමට හා ඝන වීමටයි. ඉන් පසු ලෝදිය මෙන් පැසෙන උනු වතුර උගේ කටට වත් කරයි. ඒවා කුස තුළට වැද මළ ද්‍රව්‍ය සෝදා අධෝ මාර්ගයෙන් නික්මෙයි. සම පහසුවෙන් ඉවත් කිරීම සදහා උතුරන උනු වතුර පිටට වත් කරයි. බුදු හිමියන් වැඩ වෙසෙන වේළුවන වෙහෙර ඒ අසලමය. තුණුරුවන් පිදීමට ඔහුගේ නිවස අසලින් යන පිරිස බොහෝය. එහෙත් ඔහුට ඒ ගැන වගක් නැත. විහාරයේ පූජා හඩ පාවා ඔහුගේ කණට අමිහිරිය. මේ ආකාරයට පනස් පස් වසරක් පවෙහි ඇලී සිටි ඔහු එයින් මුදා ගැනීමට කිසිවෙකුට නොහැකි විය. නොබෝ කලකින් මේ වැද්දා රෝගාතුර වීය. කළ පව් සිහිවී ඇති වූ බියද රෝගයේ වේදනාවද නිසා මරණයට ආසන්න විය. මරණාසන්න වූ ඔහුට ගති නිමිති පහළ වී අවීචි මහා නිරය පෙනෙන්නට විය. දින හතක් තිස්සේ ඔහු උමතුවෙන් කෑ ගැසුවේ මැරූ ඌරන් වේදනාවෙන් කෑගැසූ ආකාරයටය. ඉන් පසු මරණයට පත් වී අවීචි මහා නරකයේ උපන්නේය. මේ පුවත දැනගත් බුදුන් වහන්සේ “ පව්කම් කලවුන් මෙලොවත් දුකින් පෙලී පරලොවත් නරකාදීයේ ඉපිද නිමක් නැති දුක් විදින්නේ “ යයි වදාළසේක. |