රස බර බණ කථා - ධම්ම පදය ඇසුරෙනි.
|
බිරිද දෙස බලා කලකිරීම.
සැවත් නුවර වාසය කල එක් මිනිසෙක් උදය වරුවේ හරක් සොයමින් ගොස් මධ්‍යාහ්න වූ පසු කුස ගින්න උහුලාගනු නොහැකිව අසල ඇති විහාරයකට ගියේය. එහි වැඩ සිටින සංඝයා වහන්සේලාට වැද ගරු බුහුමන් දක්වා පසෙකට වී සිටියේය. එහිදී ඔහුට කුසපුරා කෑම බීම ලැබුණී. රසවත් අහරින් කුස පුරවාගත් ඔහු මෙසේ සිතන්නට විය. මේ තෙරුන් වන්සේලා කිසි වැඩක් නොකර වෙහෙසක් නොමැතිවම දිනපතා රස බොජුන් වළදයි. මා දවස පුරාම වෙහෙසී වැඩ කලත් මෙවැනි කෑමක් නොලැබෙයි. ඒනිසා මමත් පැවිදි විය යුතයි. මෙසේ සිතා පැවිදි වූ ඔහු ටික දිනයක් ගත වන විට ක්ෂය වී ගිය සිරුර වෙනුවට තර වූ පැහැපත් සිරුරක් හිමි විය. මේවිට ඔහුට බිරිද මතක් විය. ගිහි කල කම් සැප විදි අයුරු මතක වී රාගයෙන් මුසපත් ව සිවුරු හැර ගිහි විය. මෙසේ හයවරක් පැවිදි වී හයවනරක් සිවුරු හළේය. ඔහු සිතට වහල් වී කටයුතු කරන බැවින් චිත්ත හත්ථ නමින් ප්‍රසිද්ධ විය. ඔහු තමාගේ ගැබිනි බිරිද පෝෂණය කරන්නට බොහෝ වෙහෙසවී වැඩ කළේය. මේ අතර දරු ගැබ මෝරා වැඩුනේය. දිනක් ගැබිබර වූ ඇය සිරුරේ ඇති වූ අපහසුතාවක් නිසා නිදන්නට විය. නිදිබර නිසා ඇග රෙදි ඉවත් වී කටින් කෙල වැගිරෙමින් තිබිණි. කුඹුරේ බොහෝ වෙහෙස වී වැඩ කල සිවුරු හල සැමියා නිවසට පැමිණිය විට මෙතෙක් බොහෝ ආශා කල තම බිරිද පෙනුනේ ඉදිමී ගිය මළ සිරුරක් ලෙසය. එම අවස්ථාවේ දැඩි ලෙස කළකිරුණු ඔහු ත්‍රිලකුණු මෙනෙහි කරමින් විහාරය කරා යන අතරම සෝවාන් පල එළඹියේය. සත්වන වර පැවිද්ද ලබා බොහෝ වෑයමෙන් භාවනා කල උන්වන්සේ රහත් පල ලැබුහ. නමුත් ඒ බව නොදත් සෙසු තෙරුන් වහන්සේලා නැවතත් ගෙදර යනු ඇතැයි ඇනුම්පද කියන්නට වූහ. එවිට උන්වහන්සේ පැවසූවේ මාගේ ගෙදර ගමන තබා සසර ගමන වත් නොමැති බවයි. මේ පුවත් සැලවූ බුදුන් වහන්සේ “ රාගයෙන් නොතෙත් වූ කිපීමෙන් දැඩි නොවු රහතුනට කෙලෙසුන් කෙරෙනන් බියක් නැති බව වදාළ සේක ,, |