රස බර බණ කථා - ධම්ම පදය ඇසුරෙනි.
|
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන් එපා වූ හැටි
රජගහ නුවර “සිරිමා‘‘ නමින් රුවින් බබලන කාන්තාවක් සිටියාය.ඇය තමා කෙරේ පැමිණෙන ධනවතුන්ගෙන් එකවර ලබන මුදල අතිමහත් ය. මේ විනෝද කාරී ජීවිතය ගැන කළ කිරුණු ඇය ඉන් ඉවත් වී දහමට සිත යොමුකලාය යහපත් උපාසිකාවක් වූ ඇය දිනක බුදුහිමින්යන්ගෙන් දහම අසා සෝවාන් වූවාය. තම නිවස කරා සංඝයා වහන්සේලා වැඩමවා දන් පිදීම බණ ඇසීම ආදියෙහි නිතරම පාහේ නියැලිණී. මෙම උපාසිකාව හදිසියේම රෝගාතුර විය. එසේ වුවත් සේවිකාවන් ලවා දන් පිළියෙල කොට තමදෑතින්ම සංඝයාවහන්සේලා හට පිළිගැන්වූවාය. ලෙඩට කරන බෙහෙතට වඩා දන් දීම අගේකොට සැලකුවාය. රෝගය උත්සන්න වී සිරිමා උපාසිකාව මරු වසගයට පත්විය. සිරුර සොහොනට ගොස් දැමුහ. එයින් හතරවන දින බුදුරජාණන් වහන්සේ මහා සංඝාය සමග සොහොනට වඩම කළහ. එහි රැදී සිටි සෙනග අතර බිම්බිසාර රජතුමා ද සිටියේය. උන්වහන්සේ නරක් වී ඉදිමී ඔජස් ගලන සිරිමාගේ මළ සිරුර පෙන්වා බිම්බිසාර රජු අමතා මෙසේ වදාළහ. බුදු හිමි: මහරජ පෙරදී සිරමා පතා එන අය එකවර මසු දහසක් වුවත් දෙතියි කියති. දැනුත් එසේ ගනීද? මහ රජ: බුදු රජාණන් වහන්ස, එසේගන්න කෙනෙක් නැත. බුදු හිමි: ඊට අඩුවෙන් ගන්න කෙනෙක් ඇත්ද? මහ රජ: එසේත් ගන්න කෙනෙක් නැත බුදු හිමි: නොමිළයේ වත් ගන්න කෙනෙක් ඇත් ද? මහ රජ: එසේත් ගන්න කෙනෙක් නැත. එදා මසුරන් දහසක් දී ලබාගනීමට තරම් බොහෝ දෙනාගේ සිත් ඇලුම් කල “ සිරිමාවන් “ නොමිළයේ ලබා ගනීමට වත් අද කෙනෙක් නැත. ඒ නිමිති කොට බුදු හිමියන් “ බොහෝ දෙනා සුවයයි සිතා විසිතුරු කොට සරසන බොහෝ සේ ආශා කරන මේ සිරුරේ නියම ස්වභාවය සලකා බලන්න“ යැයි වදාල සේක. |