දරුවන් නොලැබීමට හේතු.
|
බිම්බිසාර මහ රජුගේ පුත් බෝධි රාජ කුමරු සම වයසේ කුමාරවරුන් අතර මහත් ඉසුරෙන් බැබලේ ඔහු වෙනුවෙන්, දඹදිව සිටින දක්ෂ වඩුවෙකු ගෙන්වා ඔහු ලවා දෙව් විමනක් වැනි මාළිගාවක් තැනුවේය. බලන්නන්ට එය දිස්වන්නේ අහසෙහි පියාසර කිරීමට තැනූ මාළිගාවක් මෙන් මනරම් ලෙසය. ඒ කුමරුට හැම සැපතම ඇතත් දරු සම්පත් නැත. “කෝකනන්ද “ නම් වූ එම මාළිගයට පිවිසෙන මගුල ඉතා උසස් ලෙස පිළියෙල විය. පළමු කොට බුදුන් හා මහා සංඝරත්නය වැඩම කොට දන් පිළිගන්වා මාළිගයට ගෙවැදීමට සූදානම් කරවීය. බුදුන්වහනසේ මහ සංඝයා සමග වැඩම කළ පසු. මාළිගයට පිවිසෙන තැන් පටන් පාවාඩ දමවා“ දරුවකු ලබමු නම් බුදුරදුන් මේ පාවාඩ උඩින් වඩින සේක්වා“ යි සිතීය. බුදු හිමියන් පාවාඩ උඩින් නොවැඩ සිටියහ. පියවිලි ඉවත් කල පසු වැඩි සේක. ඒ කුමරු පිවිතුරු ලෙස පිළියෙල කළ දන් වළදවා වැද පසෙක සිට පියවිළි උඩින් නොවැඩ සිටිමට කරුණු විමසුවේය. එවිට උන්වහන්සේ “ කුමරු සිතු කරුණ සිදු නොවන නිසා“ යයි වදාළහ. දරුවන් නොලැබිමට කරුණු විමසූ කල පෙර අත්බවයෙක කුමරු නව් නැග යමින් සිටියදී නැව මුහුද මැද විහාශ වී ලෑල්ලක් මත නැගී දිවයිනකට ගොඩ බැස කෑමට කිසි දෙයක් නොවූයෙන් එහි බහුලව තිබූ කුරුළු බිත්තර හා කුරුල්ලන් මරා කෑ පවින් යැයි දක්වා ඒ නිමිති කොට “ අත් බවය තමාට ප්රිය නම් එය මැනවින් රැකගත යුතු බවත් බාල,මැදිවිය හා මහළු යන තුන් වියෙහිම බැරි නම් එක් වයසකදී වත් ජීවිතය අකුසලින් වලකා කුසල් කර ගත යුතු බවත් පවසා ඒ කුමරු සෝවාන් පල පිහිටවූ සේක. |